මෙහෙම හිතන්නකො, ෆ්‍රිජ් එකේ ඔයා ආසම ෆ්ලේවර් එකෙන් තියෙන චොකලට් එකක් තියෙනවා. හැබැයි ඒක ඊයේ එක්ස්පයර් වෙලා. ඔයාගේ හිත කියන්නේ ඒක කන්න කියලා උනත් මොලේ ඔයාට තව සිග්නල් එකක් දෙනවා. එක්ස්පයර් වුන ඒවා කෑවොත් බඩේ කැක්කුම හැදෙයි. මේ විදියට දෙලොවක් අතරේ ඉදලා අන්තිමට ඔයා මොකද්ද කරන්නේ?

ඉතින් අද අපි කතා කරන්නේ අපි හැමෝම ගොඩක් අසරණ වුන මෙන්න මේ ප්‍රශ්නෙ ගැනයි. ඇත්තටම පැකට් වල බෝතල් වල ගහලා තියෙන දවසටම ඒවා එක්ස්පයර් වෙනවද? ඒවා කෑවොත් බිව්වොත් මොන වගේ දෙයක් වෙයිද?

සරලවම කල් ඉකුත් වෙන දිනයටම ඒවා කල් ඉකුත් වෙනවද?  මෙන්න මේ ගැන අද කතා කරමු.  

ඇත්තටම කල් ඉකුත් වීමේ දිනයක් කියන්නේ මොකද්ද?

2013 අවුරුද්දේ Natural Resources Defense Council එක ඒ කියන්නේ NRDC එක සහ Harvard නීති විද්‍යාලයේ, Food Law and Policy Clinic එක ඒකාබද්ධ වෙලා කරපු සමීක්ෂණයෙන් හෙලි වුනේ ඇස් උඩ යන කතාවක්. මේ සමීක්ෂණයේදී හෙලි වුනා ඇමරිකාවේ නිෂ්පාදන වලින් සියයට 90 කට වඩා වැරදි කල් ඉකුත් වීමේ දින වලින් සමන්විතයි කියලා. ඔයාලා දන්නවද එහෙම වැරදි කල් ඉකුත් වීමේ දිනයන් භාවිතා කරන්න හේතුව? හේතුව තමයි කෑම කිලෝග්‍රෑම් බිලියන ගණනක් නිකරුනේ නාස්ති වෙලා යන එක වලක්වන එක. 

අපි ඒ කාරණය පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් බලමු, අපිට නිතර දෙවේලේ දකින්න ලැබෙන කල් ඉකුත් වීමේ ලේබල මොනවද කියලා.

01.   Best Before එහෙමත් නැත්නම් Best Byමේ ලේබල් එක දකිනවා නම් ඒකේ තේරුම තමයි මේ දිනේ පහු වුනා වුනත් ඒක නිවරදිව store කරලා තියෙනවා නම් අපිට භාවිතයට ගන්න පුළුවන් කියන එක.

02.   ලේබල් එකේ තියෙන්නේ Use By කියලා නම් ඒක අපි කලින් කියපු Best Before එහෙමත් නැත්නම් Best By වලට වඩා ටිකක් බරපතලයි. මේ ලේබලය තියෙන ගොඩක් කෑම මේ කියපු දිනයෙන් පස්සේ නරක් වෙනවා, එහෙමත් නැත්නම් අපිට කන්න බැරි තත්වයකට පත් වෙනවා.

03.   Sell By ලේබල් එක තියෙනවා නම් ඒක හැමවෙලේම අදාල වෙන්නේ අදාල භාන්ඩය විකුණන පුද්ගලයාටයි. කොයිතරම් කාලයක් මේ නිෂ්පාදනය ගබඩා කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතනදි කියවෙන්නේ. ගොඩක් වෙලාවට මේ දිනය පහු වුනා උනත් ඒ නිෂ්පාදනය අපිට ආහාරයට ගන්න පුළුවන්. හැබැයි මේක ආහරයෙන් ආහරයට වෙනස් වෙනවා. 

 ඉතින් සරලවම කිව්වොත් කල් ඉකුත් වීමේ දිනය කියන්නේ සමහරක් වෙලාවට අපිට ඒ දිනෙන් පස්සේ කෑම කන්න බැරි හැබැයි තවත් සමහරක් වෙලාවට ඒ කෑම එක කන්න පුලුවන් අරුම පුදුම දවසක් කියලා දැන් ඔයාට හිතෙනවා ඇති. ඇත්තටම ඒක රදා පවතින්නේ ඔයා ගාව තියෙන කෑම වර්ගයත් එක්කයි. මේක ටිකක් තේරුම් ගන්නත් එක්ක අපි නිතරම ගන්න කැම වර්ග කීපයක් ගැන බලමු.

01.   චොකලට්.

German Federal Institute for Risk Assessment එක 2017 අවුරුද්දේ කරපු කරපු සමීක්ෂණයකින් හොයා ගත්තා චොකලට් සිසිල් වියලි පරිසර තත්වයන් යටතේ තිබ්බොත් නිෂ්පාදන දිනයෙන් පස්සේ අවුරුදු දෙකක් වුනත් කල් තියා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාගේ චොකල්ට් එක කල් ඉකුත් වෙලා උනත්, හරියට ස්ටෝ කරලා තිබ්බනම් පොඩ්ඩක් සුවද එහෙම බලලා කෑල්ලක් කටේ දාලා බලන්න. අවුලක් නැත්නම් ඔක්කොම කාලා දාන්න.

02.   කෑන් කරපු කෑම.

ලංකාවේ ජීවත් වෙන අපි ගොඩක් වෙලාවට කෑන් කරපු කෑම ආහරයට් ගන්නේ අඩුවෙන්. හැබැයි කෑන් කරපු කෑම වැඩිපුරම ආහරයට ගන්න ඇමරිකාවේ U.S. Department of Agriculture එහෙමත් නැත්නම් USDA එක කියන විදියට ටින් එක ඉදිමිලා, මලකඩ කාලා, සිදුරු වෙලා නැත්නම් කෑන් කරපු ඕනම කෑම එකක් අවුරුදු 2-5ත් අතර කාලයක් කල් තියා ගන්න පුළුවන්. ඇමරිකාවෙන් එහෙම කිව්වට කන ඔයා පොඩ්ඩක් අවධානයෙන් කන්න. මොකද අපි ඉන්නේ ලංකාවෙනෙ.

03.   කිරි නිෂ්පාදන.

කිරි වලින් හදන කෑම ඒ කියන්නේ යෝගට්, චීස්, රස කරපු කිරි වගේ දේවල් පාවිච්චි කරන ඔයාම දන්නවා ඇති, සමහරක් වෙලාවට කල් ඉකුත් වීමේ දිනයටත් වඩා කලින් ඒවා නරක් වෙන්න බලනවා. මේ නිසා මොනම හේතුවකට වත් කිරි ආශ්‍රිතව හදපු නිශ්පාදන කිසිම දෙයක් කල් ඉකුත් වීමේ දවසින් පස්සේ කෑමට බීමට ගන්න එපා. 

04.   පාන් , බිත්තර.

ඒවගේම තමයි පාන් සහ බිත්තර කියන දෙකත්. පැකට් කරපු පාන් ශීතකරණයක තිබ්බොත් සතියකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිව්ව්ත් නිෂ්පාදනයේ ගුණාත්මක භාවයත් එක්ක මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. මේ වෙලාවෙදි ඔයාට පාන් පෙති වල පෙනුම, රසය, පාට වගේ දේවල් පරීක්ෂා කරලා ඒක ආහාරයට ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්.

USDA එකෙන් කියන විදියට නැවුම් බිත්තරයක් මිලදී ගත්තට පස්සේ සති 3-5 ත් අතර කාලයක් කල් තියා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දන්නේ නෑ බිත්තරය කොයි තරම් දවසක් කල් ස්ටෝ කරලා තිබ්බද කියන එක. ඉතින් ඔයා ගාව තියෙන්නේ එවෙලෙ ගොවිපලෙන් ගත්තු බිත්තර නෙමෙයි නම් උපරිම දවස් 4 – 7 ත් ඇතුලත ආහාරයට ගන්න.

කල් ඉකුත් වුන කෑම කෑවොත් මැරෙනවද?

U.S. Food and Drug Administration (FDA) එකෙන් කියන විදියට ළදරුවනේ ෆෝමියුලා වලට ඇරුනම ඇමරිකාවේ කෑම කල් ඉකුත් වීමේ දිනය සමබ්න්ධයෙන් පනවපු නීතී රීතී මුකුත් නැහැ.

ඉතින් මේකේ සරලවම අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි, කෑම එකක් කනවද විසි කරනවද කියන එක කල් ඉකුත් වීමේ දිනයෙන් මනින්න බෑ කියන එක. සාමාන්‍ය දැනීම, ගද, සුවද වගේ දේවල් එක්ක පෙනුමත් බලලා කෑම එකක් කනවද විසි කරනවද කියලා තිරණය කරන එක ඔයාට බාරයි. හැබැයි ගෙදර වයසක අය, පොඩි දරුවෝ, ලෙඩ රෝග වලින් පෙලෙන අය ඉන්නවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න.

 ඒවගේම මස්, මාළු, බිත්තර, කිරි වගේ කෑම වලදීත් යන්තම් හරි දුගදක්, පෙනුමේ වෙනසක් තියෙනවා නම් ඒවා ආහාරයට ගන්න එක ලෙඩ රෝග වලට හේතුවක් වෙන්න පුළුවන්.

ඉතින් සරලවම කිව්වොත් අපිට කියන්න තියෙන්නේ කල් ඉකුත් වෙන දවසට ඇත්තටම කෑම කල් ඉකුත් වෙන්නත් පුලුවන්, නැති වෙන්නත් පුළුවන්.

හැබැයි පොඩ්ඩක් සාමාන්‍ය දැනුමෙන් කල්පනා කලොත් අනවශ්‍ය විදියට කෑම නාස්ති නොකර ඉන්න ඔයාට පුළුවන් වෙයි. 

ආව එකේ තව මොන​වා හරි විනාඩි 2​න් ඉගෙනගෙන යන්​න ;)